අමාත්‍යාංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරී වසම්වල පවතින සංවර්ධන නිලධාරී පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
2021 සහ 2022 වර්ෂවලදී සංවර්ධන නිලධාරීන් 49,500 දෙනෙකු බඳවා ගෙන ආයතන සඳහා අනුයුක්ත කිරීම හරහා, එම ආයතනවල සංවර්ධන නිලධාරි තනතුරුවල අතිරික්තයක් ඇති වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ.
එමෙන්ම බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ, එම තනතුරු අනුමත කිරීම, රාජකාරි පැවරීම සහ ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද මේ වනවිට ගැටලු මතු වී ඇති බවයි.
එම නිසා ඊට පිළියමක් ලෙස කාර්යාලගත සේවයේ යෙදී සිටින අතිරික්ත සංවර්ධන නිලධාරින් අතරින් සුදුසු නිලධාරින් හඳුනාගෙන ග්‍රාම නිලධාරි වසම්වල පවතින සංවර්ධන නිලධාරි පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමට සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පවරා දී ඇති බවයි.
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාවට අනුව අනුමත සේවක සංඛ්‍යාව 45,000ක්.
එහෙත් 2021 සහ 2022 වර්ෂවලදී මෙලෙස සංවර්ධන නිලධාරින් 49,500 දෙනෙකු බඳවා ගනු ලැබුවේ අදාළ ආයතනවල පුරප්පාඩු තිබියදී නොවන බවද බණ්ඩාර මහතා අනාවරණ කළා.
ඒ අනුව සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසන ආකාරයට දැනට මෙම සංවර්ධන නිලධාරින් 49,500 දෙනාම අතිරික්ත සේවකයින්.
එම සංගමය දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියේ මෙලෙස බඳවා ගත් සංවර්ධන නිලධාරින්ට අසාධාරණයක් සිදුවන බැවින් අනුමත සේවක සංඛ්‍යාව ඉහළ දමන ලෙසයි.
එහෙත් කිසිදු බලධාරියෙක් මෙතක් ඊට විසඳුමක් නොදුන් බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළා.